අලුත් ගීතයක් නිර්මාණය කරන්න විශේෂ හේතුවක් තිබෙනවාද?
මෙහෙමයි. යාළුවෝ කට්ටිය එක්ක එකතු වුණාම මගේ වයිෆ් ෂෙරමි ලස්සනට සින්දු කියනවා මම අහලා තියෙනවා. ඉතින් මට ආසාවක් ඇති වුණා වයිෆ් ලවා ලස්සන සින්දුවක් කරගන්න.
මෙම නිර්මාණය සඳහා රුවන් හෙට්ටිආරච්චි කියන කලාකරුවා තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
ඇත්තටම ඔව්. රුවන් හෙට්ටිආරච්චි කියන්නේ මම පෞද්ගලිකවම ගොඩක් ආස කරන ආදරේ කරන දක්ෂ, ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේම ඔහුගේ ගීත නිර්මාණ සියල්ලක්ම වගේ ඉතාම ජනප්‍රිය වුණා. ඒ වගේම අපේ පළමුවැනිම ගීත නිර්මාණය රුවන් ඇතුළු සියලුම දෙනා විසින් හිතුවටත් වඩා හොඳට කරලා දුන්නා. ඒ ගැන ඇත්තටම සතුටුයි.
ස්තූතිවන්ත වෙන්න පිරිසකුත් ඇති. අපි ඒ අයවත් මතක් කරමු?
ඔව්. පළමුවෙන්ම මේ වැඩේට බැහැලා වැඩකරපු රුවන් හෙට්ටිආරච්චිට, පද රචනය කළ සම්පත් ප්‍රනාන්දුපුල්ලේට, රූප රචනාව අධ්‍යක්ෂණය කළ සන්දේශ් බණ්ඩාර ඇතුළු ඔහුගේ කණ්ඩායමේ සියලුම දෙනාට සහ මගේ වයිෆ් දිනුෂිකාට Make up කළ ඉරේෂ් එරන්ද ඇතුළු මේ වැඩේ ලස්සනට කරගන්න උදවු උපකාර කළ සියලු දෙනාට මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා.
ෂෙරමි මේ නිර්මාණය සඳහා පාදක වී තිබෙන්නේ ඔබ දෙපළගේ ආදර කතාවයි. ඒ ගැනත් මතක් කරමු නේද?
ඇත්තටම තිසර සහ මම කුඩා කාලයේ ඉඳන්ම හොඳම යාළුවෝ. දේවස්ථානයේ දහම් පාසලේ 3 ශ්‍රේණියේදී තමයි අපි මුලින්ම දැන හඳුනා ගන්නේ. ඉන්පසුව අපි කාලයක් හොඳම යහළුවන් විධියට ආශ්‍රය කළා. එහෙම කාලයක් ගිහින් පාසලේ 10 – 11 ශේ්‍රණිවලට එන විටදී පෙම්වතුන් බවට පත් වුණා. අවුරුදු ගණනාවක දීර්ඝ ආදර කතාවකින් පසුව 2009 වර්ෂයේදී අපි විවාහ වුණා.
“හිතේ ලිව්ව ආදරේ දෝ” කියන ගීතය සහ වීඩියෝව මේ කාලසීමාව තුළදීම නිකුත් කිරීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
ඇත්තටම විශේෂ හේතුවක් නැහැ. නමුත් මගේ උපන්දිනය සැප්තැම්බර් 29 වැනිදාට යෙදිලා තිබුණා. ඒකට මට ලබා දෙන ත්‍යාගයක් වශයෙන් තමයි තිසර මෙහෙම සින්දුවක් කරන්න ඕනේ කියලා ප්ලෑන් කරලා තියෙන්නේ.
සින්දුවක් කරමු කියන යෝජනාව තිසර ඔබට ඉදිරිපත් කළ පසු ඔබට දැනුණු හැඟීම ගැන විස්තර කළොත්?
ඇත්තටම මට හිතාගන්න බැරි වුණා. අපි මේක කරන්න ඕනමද කියලා මම නැවතත් තිසරගෙන් ඇහුවා. ඉතින් තිසරගේ ඉල්ලීමට මම කැමැත්ත දුන්නා. එහෙම තමයි රුවන් අයියා සමඟ යුග ගීතයක් ගායනා කරන්න අවස්ථාව උදා වුණේ.
අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?
ඇත්තටම හැමෝම කතා කරලා හොඳයි කියනවා. ලස්සනට කරලා තියෙනවා සහ ලස්සනට සින්දුව කියනවා කියලත් කියනවා. යාළුවෝ සහ පවුලේ හැමෝම කතාකරලා සුබ පැතුවා.
මව්බිම – හඳගැස්ම



