දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාව Kim Keon Hee අත්අඩංගුවට

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාව වන Kim Keon Hee අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටස් වෙළඳපොල අකටයුතු ලෙස හැසිරවීම සහ අල්ලස් ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙනුයි ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ පැය හතරක් පැවති අධිකරණ නඩු විභාගයකදී  ඇය විසින් ඇයට එරෙහිව වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර සාක්ෂි විනාශ කළ හැකි බවට ඇති අවදානම සඳහන් කරමින් සෝල් අධිකරණය ඇයව රඳවා තබා ගැනීමට වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

ඇය දකුණු කොරියාවේ BMW අලෙවිකරුවෙකු වන ඩොයිෂ් මෝටර්ස් හි කොටස් සම්බන්ධ මිල ගණන් වංචා කිරීමේ යෝජනා ක්‍රමයකට සහභාගී වීමෙන් වොන් මිලියන 800 කට වඩා උපයා ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එසේම 2022 පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී සහ පසුගිය වසරේ මහ මැතිවරණයේදී අපේක්ෂක නාමයෝජනා සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

කිම්ගේ සැමියා වන හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් එරට යුධ නීතිය පැනවීම සහ ඒ හේතුවෙන් රට තුල ඇති වූ අර්බුධකාරී වාතාවරණය නිසා ධුරයෙන් ඉවත් කර සිර ගත කර සිටිනවා.

දකුණු කොරියාවේ ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙකු සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම සිර ගත කළ පළමු අවස්තාව මෙය වනවා.