තායිලන්තය දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කරයි

තායිලන්තය සහ කාම්බෝජය අතර වෙඩි හුවමාරුවක් අඛණ්ඩව දෙවන දිනටත් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

එවන් පසුබිමක කාම්බෝජයට මායිම්ව ඇති ප්‍රදේශවලට යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට ද තායිලන්තය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කාම්බෝජයට මායිම්ව ඇති තායිලන්තයේ දිස්ත්‍රික්ක 8කට මෙලෙස යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි එරට දේශසීමා ආරක්ෂක අණදෙන නිලධාරීවරයා පවසා ඇත්තේ.

මේ අතර තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තම් චෙචයාචායි අනතුරු අඟවා ඇත්තේ කාම්බෝජය සමග දේශසීමා ගැටුම් හේතුවෙන් මේ වන විට බොහෝ පිරිසක් මියගොස් ඇති බවත් එය යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවත්ය.

මේ වන විට පුද්ගලයන් 15 දෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

දීර්ඝ කාලයක් පුරාවට පැවැති දේශසීමා ආරවුලක් හේතුවෙන් ඊයේ දිනයේ ජෙට් යානා, කාලතුවක්කු, ටැංකි සහ ගොඩබිම් භටයින් සමග දැඩි සටනක් දක්වා වර්ධනය වී ඇති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද මෙම ගැටුම් සම්බන්ධව හදිසි සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබුණි.

මේ අතර තායිලන්තය සිය දේශසීමා ප්‍රදේශවලින් 138,000කට අධික පිරිසක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය කාම්බෝජ දේශසීමාවේ ආරක්ෂිත ප්‍රදේශ 06ක් වසා දැමීමටද නියෝග කර ඇති අතර ඒ අනුව එම ප්‍රදේශයේ ඇති ජාතික වනෝද්‍යාන 06ක්ද වසා දැමීමට තායිලන්තය පියවර ගෙන තිබේ.