මේ වසරේ පමණක් ශ්‍රමිකයන් 144,379ක් විදෙස් ගත වෙයි

මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා ගතවූ මාස 6ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙනවා. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මෙහිදී කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවය.

මෙම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 88,684 ක් වන අතර  කාන්තා ශ්‍රමිකයින් සංඛ්‍යාව 55,695 ක් වනවා.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සදහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 38,806 කි. 

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයින් 28,973 දෙනෙකුද, කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 21,958 දෙනෙකුද මෙම කාලය තුළදී පිටත්ව ගොස් තිබේ. 

සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලින් බැහැරට යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. 

ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් 6,073ක්ද, දකුණු කොරියාවට 3,134ක්ද රැකියා සඳහා විදේශ ගතවී ඇත.

මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 6 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 3.73ක ප්‍රේෂණ මෙරටට එවා තිබේ.