ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා.
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙසයි ඇසළ පොහොය බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ.
අප මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වන් පොහෝ දිනක වනවා.
එසේම සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වන් පොහෝ දිනක ය.
බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදි ප්රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්සක් පැවතුම් සූත්ර දේශනාව සිදුකිරීම මෙන්ම බුදුරජාණන් වහන්සේ පළමු වරට යමහාමහ පෙලහරපෑම ද ඇසළ පුන් පොහෝ දිනක සිදුව තිබේ.
කීර්ති ශ්රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්රතිස්ථාපනය කිරීම සිදුවූයේ ද ඇසල පොහෝ දිනයකයි.
බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම සිදු වූයේ ද ඇසළ පොහෝ දිනයක බවයි ලංකා ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
මේ අතර වෙහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේ වස්විසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ ය.

