මදුරුවන් බෝවිය හැකි ස්ථාන 35,495ක් හඳුනා ගනී

පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතියේදී දිවයින පුරා පරිශ්‍ර 144,250ක් පරීක්ෂාවට භාජනය කළ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසනවා.

ජාතික මදුරු මර්දන සතියේ සමස්ත ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සම්බන්ධව අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළා.

ඒ අනුව එම සතිය තුළදී මදුරුවන් බෝවිය හැකි යැයි හඳුනාගත් පරීශ්‍ර 35,495ක්ද සහ මදුරු කීටයින් සහිතව පරීශ්‍ර 4,275ක් හඳුනාගෙන තිබෙනවා.

එම ස්ථාන වලට එරෙහිව මෙහිදී රතු නිවේදන 3,812ක් සහ නීතිමය ක්‍රියාමාර්ග 982ක්ද ගෙන තිබෙනවා.

එසේම මෙම මදුරු මර්දන සතියේදී පාසල්, රජයේ ආයතන, කර්මාන්ත ශාලා වැඩබිම්, ආගමික ස්ථානවල මදුරුවන් බෝ විය හැකි අවදානම් ස්ථාන ලෙසද හඳුනාගෙන තිබේ.

එහිදී පාසල් පරිශ්‍ර 400ක් නිරීක්ෂණය කළ බවත් එහිදී පාසල් 226ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන ලෙසද හඳුනාගෙන ඇත.

තවද ජාතික මදුරු මර්දන සතියේදී නිවාස 131,789ක් පරීක්ෂා කළ බවත් 31,967ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන ලෙසද හඳුනා ගෙන ඇති බවද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම රජයේ ආයතන 955ක් පරීක්ෂා කළ බවත් ඉන් 292ක මදුරු කීටයින් බෝ විය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.