මෙරට ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න මහත්මිය පෙන්වා දෙන්නේ, ආහාර පරිභෝජනයේ පවතින ගැටලු මෙම තත්ත්වයට හේතු වී ඇති බවය.
“2024 ජාතික පෝෂණ මාසයට සමගාමීව එකතු කරපු දත්තවලට අනුව 1,4,7,10 වසරවල පාසල් දරුවන්ගේ 7%ක් ළමයින් වැඩි බරක් තියෙනවා. ඒ වගේම ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණය තුළින් 2024 වසරේ අවුරුදු 13 – 17ත් අතර දරුවන්ගේ ආහාර ගන්න පිළිවෙල සහ ඒ දරුවන් සම්බන්ධයෙන් කරලා තියෙන සමීක්ෂණ තුළින් හෙළිවෙලා තියෙනවා ස්ථූලභාවය 3%ක් විතර දරුවන් තුළ තියෙනවා.
අධි බර 12%ක් විතර දරුවන් අතර දක්නට ලැබෙනවා. දරුවන්ගේ ආහාර රටාව ගැන අධ්‍යයනයක යෙදිලා තියෙනවා. ඒකෙන් අපි බැලුවහම 17%ක් විතර දරුවන්, පැණි බීම හා ඒ ආශ්රිත බීම වර්ග, ලුණු සහිත ආහාර වර්ග 28%ක් විතර දරුවෝ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ සමීක්ෂණය කරන සතියට කලින් සතියේ. අධික තෙල් සහිත ආහාර 28%ක් – 29%ක් විතර දරුවන් පරිභෝජනය කරලා තියෙනවා. ඒ වගේම අධික සීනි සහිත ආහාර 41%ක් දරුවන් පරිභෝජනය කරලා තියෙනවා. මේ දත්ත තුළින් අපිට පේනවා පාසල් දරුවන්ගේ ආහාර පරිභෝජන රටාව සුදුසු විදියට නෙමෙයි සිදුවන්නේ. මේ එක්කම දරුවන්ට අඩු වයසේදීම බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි නොයෙක් රෝග වැලඳීමේ ප්‍රවණතාවයක් පවතිනවා.”

