ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
එසේම ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණයක් ද ආරම්භ කර ඇති බවයි ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ.
දැනට පවතින යහපත් තත්ත්වය හමුවේ බොහේ විට අද (25) දිනයේ ජාත්‍යන්තර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනු ඇති බව ද ඔහු පවසනවා.
දැනට පවතින සටන් විරාමය රැකගැනීමට ඊශ්‍රායලය හා ඉරානය යන රටවල් දෙකම එකඟ වී තිබෙනවා.
මේ අතර ඊයේ (24) දවස තුළ ඊශ්‍රායලයෙන් පිටත්වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපොළ හරහා කොළඹට පැමිණි බව තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
එසේම ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින පිරිස් යළි ඊශ්‍රායලය වෙත පැමිණීමට තම ගුවන් ටිකට්පත් අදාළ ගුවන් ටිකට් පිළිබඳව විස්තර අදාළ විදේශ රැකියා ආයතන මඟින් විමසන ලෙසයි තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.
බොහෝ මගීන් පිරිසක් එකවර පැමිණීමට අපේක්ෂා කරන බැවින් ගුවන් ටිකට් පත් ලබා ගැනීමට තරමක තදබදයක් තිබිය හැකි බව ද තානාපති කාර්යාලය සඳහන් කරනවා.
ටෙල් අවිව් වෙත පැමිණෙන ගුවන ගමන් හෝ ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන් තොටුපොළේ තත්ත්වය පිළිබඳව වැඩිදුර විස්තර සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලා සිටී.

