කටාර් ගුවන් සීමාව නැවතත් විවෘත කරයි

තාවකාලිකව වසා දැමුණු කටාර් ගුවන් සීමාව ඇතුළු අනෙකුත් මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානය විසින් කටාර්හි පිහිටි අල්-උදෙයිද් අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් වසා දැමුණා.

මෙම ප්‍රහාර වලින් කිසිදු ජිවිත හෝ දේපල හානියක් සිදු නොමැති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානය පැවසුවේ මෙම ප්‍රහාරය හරහා ඇමරිකාවට පැහැදිලි පණිවිඩයක් යැවීමට අපේක්ෂා කරන බවත්, තම භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාවට එල්ල වන කිසිදු ප්‍රහාරයක් නොසලකා නොහරින බවත්ය.

ආරක්ෂාව සඳහා ගුවන් කලාප වසා දැමීමත් සමඟ ගුවන් ගමන් රැසක් අවලංගු වූ අතර ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් මස්කට්, ඩුබායි සහ රියාද් යන ගුවන්තොටුපොළවල් වෙත ගොඩ බැස්වීමට පියවර ගත් බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළා.