UN හි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද දිවයිනට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ඔහු අද සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ .

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වීම විශේෂත්වයක්.

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබෙනවා.

එසේම විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

මෙරට මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ සංචාරය අතරතුර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමටද නියමිත අතර මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හී මහනාහිමිවරුන් බැහැදැකීමට ද සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.