මුද්දර බද්ද දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාවක්

2006 අංක 12 දරණ මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත 2006 වසරේ සිට අද දක්වා සංශෝධනය කර නොමැති බැවින් එය සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. 

අද (20) පාර්ලිමේන්තුව අමතමිනුයි මෙම සංශෝධන යෝජනාව පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, රුපියල් 1000කට රුපියල් 10ක් ලෙස පැවති මුද්දර බද්ද රුපියල් 20 දක්වා වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ. 

”ඕනෑම දේපලකට දැනට අය කරන බද්ද විශේෂයෙන්ම කල් බදු මත මුද්දර බදු අය කරනු ලබන රුපියල් 1000කට රුපියල් 10ක් වැනි මුදලක් තමයි දැනට ගාස්තුව ලෙස අය කරන්නේ. එම ගාස්තුව රුපියල් 20ක් දක්වා වැඩි කිරීමට සංශෝධනය කර තිබෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් රජයට අවශ්‍ය අදායම් උපයා ගැනීම සඳහා පුරවැසියාට බර වැඩි කරන්න ද මේ වගේ දේවල් කරන්නේ කියලා. එහෙම අරමුණකින් නෙවෙයි, මේ අන පනත් යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය පියවරක් ලෙස තමයි වසර 20කට වඩා වැඩි ඒ කියන්නේ 2006 තියෙන අන්තිම සංශෝධනයටත් කළින් ඉඳලා තමයි රුපියල් 10 බද්ද ක්‍රියාත්මක වෙන්නේ. 

විශේෂ කාරණය තමයි මේ මුද්දර බද්ද අයකර ගන්නේ නිශ්චල දේපල සඳහා පමණයි. මේ ලබා ගන්න බදු මුදල මධ්‍යම ආණ්ඩුව වෙනුවට පළාත් සභාවලට තමයි මේ මුදල් භාර දෙන්නේ. ඒ තුළින් පළාත් සභාවල අවශ්‍ය වැඩ කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට අවශ්‍ය දායකත්වය ලැබෙනවා වගේම මධ්‍යම ආණ්ඩුවට ඒ වෙනුවෙන් යන වැය බර අඩු කර ගනිමටත් මේ තුළින් අවස්ථාව ලැබෙනවා.”