ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඊයේ අලුයම ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර වලට පිළිතුරු ලෙස ඉරානය විසින් ඊශ්‍රායලට බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

එරට හමුදා කඳවුරු සහ  ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරය හේතුවෙන් පිපිරීම් කිහිපයක් සිදුව ඇති අතර ටෙල් අවිව් හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බව BBC වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයෙන් 40දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන බව සඳහන්.

ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට එල්ල වූ ඉරාන මිසයිලයකින් එහි ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, ඊශ්‍රායල ආරක්ෂක අංශ එහි සිටින තුවාලකරුවන් සොයමින් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරමින් සිටිනවා.

ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත්කිරීමට පෙර ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අල් කමෙනි සපථ කරමින් කියා සිටියේ, ඊශ්‍රායලය තමන්ට එල්ල කළ රාත්‍රී ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවයි.

ඇමරිකානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊශ්‍රායල තානාපතිවරයා පවසා ඇත්තේ සිකුරාදා ඉරානයේ පළිගැනීමේ ප්‍රහාරවලින් ටෙල් අවිව් හි කාන්තාවක් මිය ගිය බවයි.