දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවයි එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
“මේ රෝගය බෝවෙන්නේ බැක්ටීරියාවකගෙන්. විශේෂයෙන් ක්ෂීරපායි සතුන්ගේ මූත්‍රා මඟින්. ඇත්තම කියනවා නම් මීයන්ගේ තමා මුත්‍රා පද්ධතියේ මේ බැක්ටීරියාව ජීවත් වෙන්නේ. මීයන් වතුර බොන අවස්ථාවන්වලදී මුත්‍රා ජලයට මුසු වෙනවා. එහෙම නැත්නම් පසට මුසුවෙනවා. ඒ පසෙන් හෝ ජලයෙන් අපි නිරාවරණය වුණොත් මිනිස්සුන්ට මේ රෝගය බොහෝදුරට වැලඳෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ එක්කම අවධානම් කණ්ඩායම් ගැන අපි කතා කළොත් වී ගොවීන්, සමහර දිස්ත්‍රික්කවල පතල් කර්මාන්තයේ නියැලෙන අය, ගංවතුරට ආවරණය වුණොත් සහ කීරකොටුවල වගා කටයුතු නියැලෙන්නන් පෙන්වා දිය හැකියි.”

