පින්බර පොසොන් පොහෝ දිනය අදයි

ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ දී ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබෙනවා.

මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල සහ බද්දසාල යන රහතන් වහන්සේලා, සුමන සාමණේර සහ භණ්ඩුක උපාසකතුමාගෙන් සමන්විත ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූවා.

එහි දී අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකය.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකය.

බෞද්ධයින්ට, මෙම පූජනීය පොසොන් දිනය වැදගත්කම අතින් දෙවැනි වන්නේ වෙසක් දිනයට පමණක් වනවා.

අද දිනයේ බෞද්ධයන් සීල ව්‍යාපාර, පොසෝන් තොරන්, දන්සල් ලබා දෙමින් ආගමානුකුලව කටයුතු කරනවා.