අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ජනාධිපති සමාවක් ලැබුණු බව කියමින් සිරකරුවෙකු අනීතික ලෙස නිදහස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නම් වූ විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ.

බන්ධනාගාර අධිකාරිවරයාගේ එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදා හරින ලෙස නියෝගකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා අද (9) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.