ඩෙංගු හා චිකුන්ගුන්යා වසංගත තත්ත්වයක් ?

ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ මෙම රෝග දෙකම බෝ කරනු ලබන්නේ එකම මදුරුවාගෙන් බවය.

එසේම රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දී බොහෝදුරට සමානයි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර අද පැවති කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවය.

පවතින අධික වර්ෂාවත් සමඟ මේවන විට ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2009 වසරෙන් පසු චිකුන්ගුන්යා රෝගීන්ද වැඩි වශයෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ