හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70ක් දක්වා වැඩිවීමේ හැකියාව ඇති බවය.
මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාවට එම නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ.
මේ අතර හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි 50-60ක් දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් ඒ අනුව එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව වෙත ද අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

