ජාතික බදු සතියක් ප්‍රකාශයට පත්කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබන ජුනි 2 සිට ජුනි 8 දක්වා වූ සතිය ජාතික බදු සතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බදු දායකත්වයන්හි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ රජයේ ආදායම ශක්තිමත් කිරීම සඳහා ජාතික පරිශ්‍රමයක් ලෙසයි මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

රේගුව , දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මගින් එම සතිය තුළ ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එසේම රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ, මෙමගින් රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ජාතික බදු සතිය ලබන සඳුදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරිමට නියමිතයි.