දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා. 

ගැටලුවලට බලධාරීන්ගෙන් තවදුරටත් විසඳුම් නොලැබෙන්නේ නම් ලබන සතියේ යළි රැස්වී අඛණ්ඩ වර්ජනයකට එලඹීම පිළිබඳ තීරණයකට පැමිණෙන බවයි ඔහු කියා සිටියේ. 

මෙම වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 250 ත් 270 ත් අතර ප්‍රමාණයක් අද දිනයේදී අවලංගු වී ඇති අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති අලාභය රුපියල් කෝටි 03 කට ආසන්න වනවා.

එසේම මෙම වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ මෙන්ම අද දිනයේත් සියලු‍ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය වුණේ නැහැ.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථානවලට පැමිණි මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියා. 

කෙසේ වෙතත්, අද දිනයේ දුම්රිය ගමන්වාර 80 -100 ත් අතර ප්‍රමාණයක් ධාවනය කරවීමට කටයුතු කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ.