ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් වෙයි

පුරා මාස හයක කාලයක් පැවති ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග අද අවසන් වනවා.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

සධාතුක කරඬුව, සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම සඳහා ශ්‍රී පාදස්ථානයේ සිට නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානය වෙත හෙට පස්වරුවේ ගමන් ආරම්භ කරනු ලබනවා.

ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානයේ සිට විශේෂ රියක තැන්පත් කරන සධාතුක කරඬුව, සමන් දේව පිළිමය හා දේවාභරණ එක් පෙරහැරක් මාවුස්සාකැලේ, ලක්ෂපාන, කළුගල, අවිස්සාවේල්ල මාර්ගයෙන් හා අනෙක් පෙරහැර මස් කෙළිය, නෝර්වුඩ්, බගවන්තලාව, බලංගොඩ මාර්ගයෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරය දක්වා වැඩම කෙරෙනු ලබනවා.

මෙම පෙරහැරවල් දෙකට සමගාමීව පෙර වසරවලදී මෙන්ම මෙවරද ශ්‍රී පාද උඩමළුවේ සිට එරත්න – රත්නපුර මාර්ගයෙන්ද සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැරක් ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම සිදු කරනු ලබනවා.

ශ්‍රී පාද වන්දනා සමය නිමා කිරීමෙන් අනතුරුව සධාතුක කරඬුව, ඓතිහාසික ශ්‍රී සුමන සමන්දෙවියන්ගේ රන්මුව පිළිමය හා දේවාභරණ ශ්‍රී පාද අවාර සමයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරයේ සමන්දේවාලයේ තැන්පත් කෙරෙනවා.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින සිරිපා වන්දනා සමය ආරම්භ වුණි.