දළදා වඳින්න එන බැතිමතුන්ට තවත් පහසුකම් ලබා දීම කෙරෙහි අවධානය

මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබාදෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කර ගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ සැදැහැවතුන්ට සහන සැලසීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (20) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

ඒ අනුව නගරයට පැමිණෙන සැදැහැවතුන්ට ආහාර ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ඒ සඳහා ලබා ගන්නා බවත් ඒ මහතා සඳහන් කරනවා.

සහල්, පොල් ඇතුලුව ලබා ගන්නා වියළි සලාක ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් සකස් කොට දන්සැල් ලබා දීමට තීරණය කර තිබෙනවා

මේ වන විට විශාල ජනකායක් දළදා වන්දනාව සඳහා මහනුවරට ඇදී එමින් පවතින අතර ඔවුන්ට පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් කුසගින්නේ නොතැබීම තමන් හා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සතු වගකීමක් වන බව ද හෙතම සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අමතර පහසුකම් හිමිවන බවත් දානපතියන් ඇතුලු විවිධ පාර්ශව උපකාර කිරීමට ඉදිරිපත්වී සිටින බවත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම තවත් ජංගම වැසිකිළි පද්ධති කිහිපයක් ස්ථාපිත කරන බව ද ඔහු කීවේය.