මෝදී අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්’ යන සංකල්පය තහවුරුකරමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වේ.

අග්‍රාමාත්‍යවරයා පිළිගැනිමේ නිල උත්සවය හෙට (5) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම සංචාරයේදී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත විමට සැලසුම් කර ඇති අතර බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතව ඇත.

මෙහිදී ඉන්දීය සහයෝගීත්වයෙන් ඉදිවන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යයාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් විවෘතකිරීමට ද නියමිතයි.

මෙම සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ  වැදපුදාගැනීමට නියමිතව ඇත.