බිත්තර මිල ගැන අනතුරු ඇඟවීමක්

සීඝ්‍රයෙන් පහළ යන බිත්තර මිල පාලනය කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී යළිත් බිත්තරය රුපියල් 50ක් දක්වා ඉහළ යනු ඇති බවට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය අනතුරු අඟවනවා.

එහි සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි පෙන්වා දෙන්නේ, බිත්තර මිල පහළ යාම හේතුවෙන් බොහෝ බිත්තර නිෂ්පාදකයින් කිකිළියන් මසට විකිණීමට පෙළඹී ඇති බවයි.

පසුගිය කාලය තුළ රුපියල් 60 ඉක්මවූ මිලකට අලෙවි කෙරුණු බිත්තරයක්, මාස කිහිපයක සිට අලෙවි වන්නේ රුපියල් 25ත් 30ත් අතර මිලකට වනවා.

උත්සව සමය ආසන්නයේ මෙලෙස බිත්තර මිල පහළ යෑමෙන් පාරිභෝගිකයින්ට සහනයක් ලැබුණ ද බිත්තර නිෂ්පාදකයින් මේ හේතුවෙන් අසීරුතාවකට පත්ව ඇති බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය සඳහන් කරන්නේ.