පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි පවසනවා.
එළැඹෙන අප්‍රේල් මස 8 වනදා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
එම පනත හරහා මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන පුද්ගලයින්ගේ ඕනෑම දේපොළක් නීත්‍යානුකුලව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලබාගැනීමට හැකිවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ ඔහු දැක්වූ වැඩිදුර අදහස්,
“මේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය ධනය විවිධ වකවානුවල සිටි පාලකයෝ, දේශපාලඥයින්ට සම්බන්ධ සමීපතමයින්, තාත්තලා, පුතාලා, බාප්පලා ඇතුළු ඒ දේශපාලනයේ හිටපු අය, ඥතීන් එකතුවෙලා අපේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් විවිධ ආකාරයෙන් අයථා ලෙස පරිහරණය කරලා තියෙනවා, අත්පත් කරගෙන තියෙනවා. එමෙන්ම ඒවා තමන්ගේ බවට පත්කරගෙන තියෙනවා. එවැනි නීතිවිරෝධී හෝ අයථා ලෙස උපයාගෙන අද ඒවා පුද්ගලික දේපොළ ලෙස පත්කරගත් ඕනෑම කෙනෙකුගේ දේපොළක් නීත්‍යානූකූලව විධිමත්ව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා යළි රජයට පවාරා ගැනීමේ හැකියාවක් ලැබෙන නව නීති සම්පාදනයක් සඳහා වන පනතක් ඉදිරි අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ අභිලාෂයන් අපි දවසින් දවස ඉටුකරමින් මේ රටේ හැම පුරවැසියෙකුගේම බලාපොරොත්තු ඒ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය විදිවිධාන කලබලයක් නැතුව ඉදිරියට ගෙනියනවා.”

