සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක්

සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ සිදුවිය හැකි අනපේක්ෂිත කාලගුණ තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වා ගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව සමග ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශවකාර ආයතන වෙත මේ සඳහා වන මාර්ගෝපදේශ මේ වන විටත් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව යම් සිදු දරුවකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668 020/ 0113 668 100 / 0113 668 013 / 0113 668 010 සහ 076 3 117 117 යන අංක වෙත අමතන ලෙසයි දැනුම් දෙන්නේ.

මීට අමතරව විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911  යන දුරකථන අංකයට ඒ බව දැන්විය හැකි වනවා.