වෛද්‍ය වැඩවර්ජනය අඛණ්ඩව

වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තද ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ ලේකම් සුගත් සුගතදාස මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසීය.

“අපි සංකේත වැඩවර්ජනයක් කරන්නේ අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා. ඒ වැඩවර්ජනය හෙට උදෑසන අවසන් කරනවා. අපි බලාපොරොත්තු වුණ බලපෑම කරන්න මේ අපරාධ මෙයින් ඉස්සරහට මෙවැනි දේවල් සිදුවිය නොහැකි බවට දැඩි ස්ථාවරයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්නවා. අපි දැඩි ලෙස මේක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස හෙළාදකිනවා.” 

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක ලෙස හඳුනා ගෙන තිබෙනවා

අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබෙනවා.