පුංචි ඡන්දයට අදාළ තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය අද

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය අද වනවා.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද මධ්‍යම රාත්‍රි 12.00 න් අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඡන්ද බලප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවති.

නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදා  පෙරවරු 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

මේ අතර හෙට එනම් මාර්තු මස 13වැනිදා පෝය දිනයක් වුවද, මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල විවෘතව තැබීමට කටයුතු කර ඇති බව ද එම කොමිෂම වැඩිදුරටත් සදහන් කළා.