යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබෙනවා.

ඒ පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කරන්නේ.

එසේම වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් ද කඩාගෙන ගොස් ඇති බව ඔහු සඳහන් කරනවා.

මේ හේතුවෙන් වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව යාල කලාප අංක 1ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා තිබෙනවා.

යාල වනෝද්‍යානයේ පිවිසුම් මාර්ගයේ නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් මේ වනවිට ගංවතුරෙන් යට වී ඇත.

කෙසේ නමුත් යාල සෆාරි ජීප් රථ එකමුතුවේ සභාපති තරිඳු ජයසිංහ සඳහන් කළේ, කිසිදු දැනුම්දීමකින් තොරව ගත් මෙම තීරණය හේතුවෙන් මුදල් ගෙවන ලද සංචාරකයින් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි.