හෙට සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (02) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කෙසේවෙතත් අද (01) දිනයේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි වනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.