අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 27,751ක් පීඩාවට

පසුගිය 13 වැනිදා සිට මේ දක්වා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයින් 92,471ක පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට බලපෑම් එල්ල වූ බවය. 

මින් වැඩිම බලපෑමක් නැගෙනහිර පළාතට එල්ල වී ඇති අතර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 17,952කට අයත් පුද්ගලයින් 56,878දෙනෙකු පීඩාවට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.

එමෙන්ම උතුරු පළාතේ කිලිනොච්චිය, යාපනය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පවුල් 7970කට අයත් පුද්ගලයින් 29,299 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

උතුරු මැද පළාතේ ද අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පවුල් 1369කට අයත් පුද්ගලයින් 4599 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.

අයහපත් කාලගුණයෙන් අර්ධ නිවාස හානි 319ක් සිදුව ඇත.

එමෙන්ම ඊයේ (26) දිනය වන විටත් පළාත් රැසක පවුල් 142කට අයත් 438 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල පසුවන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේය