ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසනවා.
දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවයි එහි සභාපති ජයන්ත සමරකොන් මහතා පෙන්වා දෙන්නේ.
පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව ද ඒ මහතා පැවසීය.
ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා .
මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100ක් කර්මාන්ත අංශයට යොදාගනු ලබනවා .
මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000ක් වූවත්, ඉකුත් වසරේදී එය පොල් ගෙඩි මිලියන 2,680ක් දක්වා අඩු වී තිබෙන බවත්, මේ වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400ක් 2600ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බවත් ඔහු කියා සිටියා.
මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළදී පොල් ගෙඩි මිලියන 200ක නිෂ්පාදන අඩුවක් සිදුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බව ජයන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.
එයට විසඳුමක් ලෙස රජයට මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව පැවසූ සභාපතිවරයා හිඟ පොල් ගෙඩි මිලියන 200ට සාපේක්ෂව පොල් කිරි, පොල් මද, වියළි පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව රජයට යෝජනා කළ බවත් කියා සිටියේය.

