අලිගැටපේර වලින් කොලෙස්ටරෝල් අඩු කරන්නේ මෙහෙමයි

කොලෙස්ටරෝල් කියන්නේ අපේ ශරීරයට අහිතකර දෙයක් නෙමෙයි. ඒක සෛල ගොඩනැගීමට සහ හෝර්මෝන නිපදවීමට වැදගත් වෙන මේදමය සංඝටකයක් .

කොලෙස්ටරෝල් වල HDL කොටස හොඳ කොලෙස්ටරෝල් ලෙසත් LDL කොටස නරක කොලෙස්ටරෝල් ලෙසත් හඳුන්වන්න පුළුවන් . මේ LDL අපේ ශරීරයේ ධමනි තුළ තැන්පත් වීම නිසා හෘද රෝග සහ අනෙකුත් හෘද වාහිනී ආශ්‍රිත ගැටළු ඇතිවීමේ අවදානම වැඩි කරනවා .

ඉතින් ගොඩක් අය “මට කොලෙස්ටරෝල්” කියන්නේ මෙන්න මේ LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන එකට.

ඉතින් ඒ වගේ කෙනෙක්ට නම් දිව්‍ය ඖෂධයක් වගේ තමයි මේ අලිගැටපේර කියන්නේ.

අලිගැටපේර monounsaturated fatty acids (MUFAs) වලින් පොහොසත් වෙනවා . මේ මේද අම්ල වලට පුළුවන් ශරීරයේ අහිතකරයි කියන තැන්පත් වෙලා තියෙන LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න වගේම හොඳ HDL මට්ටම ඉහළ නංවන්නත්.

ඒ වගේම අලිගැටපේර කියන්නේ හොඳ තන්තු අන්තර්ගතයක් තියෙන පළතුරක් . සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ අලිගැටපේර ගෙඩියක තන්තු ග්‍රෑම් 10ක් වගේ තියෙනවා . මේ තන්තු වලට පුළුවන් HDL කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ නංවන්න.

මේ අනුව අලිගැටපේර නිතිපතා ආහාරයට ගැනීමෙන් හෘද රෝග සහ කිරීටක හෘද රෝග ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකි වනවා.

ඒ වගේම තමයි රුධිරයේ ඇති තවත් මේද වර්ගයක් වන ට්‍රයිග්ලිසරයිඩ මට්ටම් අඩු කරන්නත් මේ අලිගැටපේර වලට පුළුවන් කියලා හොයා ගෙන තියෙනවා .

ඒ නිසා අලිගැටපේර කියන්නේ ඔයාගේ හදවත් සෞඛ්‍ය රැක ගන්න නම් ආහාරයට එක්කර ගත යුතුම පළතුරක්.