ෂෙයික් හසීනා යළිත් බංගලාදේශයට එවන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන්නැයි එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ, ඇයට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන අධිකරණ කටයුතු වෙනුවෙනි.

නීති විරෝධී ක්‍රියාවක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු වෙනත් රටක පැවැත්වෙන නඩු විභාගයක් සඳහා පිටුවහල් කිරීමේ හෙවත් උදර්පණ ගිවිසුමක් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ක්‍රියාත්මක වනවා.

එම ගිවිසුමට අනුව හිටපු අගමැතිනිය යළි බංග්ලාදේශයට ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතින බවයි බංග්ලාදේශයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ. 

77 හැවිරිදි ෂෙයික් හසීනා ඇයට එල්ල වූ දැඩි මහජන විරෝධය හමුවේ පසුගිය අගෝස්තු 5 වැනි දා සිය ධුරය අත්හැර ඉන්දියාවට පළා ගියේ ය.

ඉන් පසු බංග්ලාදේශයේ පාලනය පැවරුනේ ආචාර්ය මොහොමඩ් යූනුස් ප්‍රමුඛ අන්තර්වාර පාලනයක් යටතටයි.