ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. 

ඉන් පසුව එළඹෙන දින දෙක තුළදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම පද්ධතිය සම්බන්ධව නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි අපේක්ෂා කළ හැකි වනවා.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණතරමක තද සුළං ඇතිවිය හැකිය.

මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා .