චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි

පසුගිය නොවැම්බර් මස අගවන විට චීනයේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.2659ක් වූ බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, එය ඔක්තෝබර් අග සිට ඩොලර් බිලියන 4.8කින් එනම් 0.15% කින් ඉහළ ගොස් ඇති බවයි නිල දත්ත පෙන්වා දෙන්නේ.

ප්‍රධාන ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්ති, වෙළෙඳපොළ අපේක්ෂාවන් සහ සාර්ව ආර්ථික දත්ත මගින් බලපෑමට ලක් වූ අමෙරිකානු ඩොලර් දර්ශකය සහ ගෝලීය මූල්‍ය වත්කම් මිල යන දෙකම පසුගිය මාසයේ ඉහළ ගොස් ඇති බවටයි සඳහන් වෙන්නේ.

එමෙන්ම මුදල් පරිවර්තනය සහ වත්කම් මිලෙහි වෙනස්වීම් වැනි සාධකවල ඒකාබද්ධ බලපෑම් හේතුවෙන්, චීනයේ විදේශ විනිමය සංචිත පසුගිය මාසයේදී ප්‍රසාරණය වී තිබෙනවා.

එරට ආර්ථික ප්‍රකෘතිය වේගවත් වෙමින් පවතින අතර වෙළෙඳපොළ විශ්වාසය වැඩිදියුණු වෙමින් පවතින බවත්, මෙම සාධක රටේ විදේශ විනිමය සංචිතවල ස්ථායී පරිමාණය පවත්වා ගැනීමට උපකාරී වන බවත්, චීන විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන සඳහන් කරනවා.

තවද, චීනයේ මහජන බැංකුව විසින් පසුගිය සෙනසුරාදා නිකුත් කරන ලද දත්තවල දැක්වෙන්නේ, නොවැම්බර් මස අග වන විට රටේ රන් සංචිතය අවුන්ස මිලියන 72.96 දක්වා වැඩි වී ඇති අතර, එය මාසයකට පෙර අවුන්ස මිලියන 72.8ක් බවයි.