ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අද (09) වනදා අභිමානවත්ව සමරනු ලබනවා .
Ceylon Royal Naval Volunteer Reserve (CRNVR) ලෙස නාවික හමුදාවේ ආරම්භය සනිටුහන් වූ අතර බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබා ගැනීමත් සමගින් ස්ථිර නාවික හමුදාවක් පිහිටුවීමේ මූලික අඩිතාලම වැටුනා .
ඒ අනුව 1950 දෙසැම්බර් 09 වන දින නාවික පනත් නීති ගත කරමින් Ceylon Royal Navy පිහිටුවන ලැබුවා.
1972 හදුන්වා දුන් නව ව්‍යවස්ථාවත් සමගම Royal Ceylon Navy නම ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රී ලංකා නාවික හමුදාව (Sri Lanka Navy) ලෙස නාමය වෙනස් කරනු ලැබුවා .
සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් අද දින සිට උසස් කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406 ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539 ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 354 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 11 ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදුකර ඇත.

