රාජ්‍ය ණය කළමනාකරණය සඳහා නව ආයතනයක්

මෙරට රාජ්‍ය ණය කළමනාකරණය සඳහා හඳුන්වා දුන් නව නීති රාමුව යටතේ ඊට අදාළ ආයතනය මෙම වසර අවසානය වනවිට ස්ථාපිත කෙරෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එම නිර්දේශවල දැක්වුණේ අදාළ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මුදල් අමාත්‍යංශය තුළ ස්ථාපිත කළ යුතු බවයි.

මෙරට ණය කළමනාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත්කළ වාර්තාවේ මේ බව දැක්වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව මෛ් වන විට විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනකට අවතීර්ණ වී ඇති අතර එහිදී ලබාදුන් ප්‍රධාන නිර්දේශයක් වන්නේ මෙරට රාජ්‍ය ණය කළමනාකරණයයි.

ඊට අදාළව තාක්ෂණික සහයෝගීතාව ලබා දීම සම්බන්ධයෙන් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද නිකුත් කළා.

මෙරට රාජ්‍ය ණය කළමනාකරණ සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට දුන් නිර්දේශ අනුව එය මේ වන විට සම්මත කරගෙන ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

එම පනත ප්‍රකාරව රාජ්‍ය ණය කළමනාකරණය සඳහා ආයතනයක් ස්ථාපනය කිරීමද ප්‍රධාන අරමුණක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යාංශය මූලික කරගත් ආයතනයක් ඒ සඳහා ස්ථාපිත කිරීම මේ වසර අවසානයට පෙර සිදුවනු ඇතැයි ද ඔවුන් නිවේදනය කරනවා.

එම නව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මුදල් අමාත්යාංශය තුළ ස්ථාපිත කිරීමෙන් පසු එම කටයුතු අධීක්‍ෂණය කරන අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීමටද පියවර ගත යුතු වනවා.

එමෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ මෙහෙයුම් ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගයක්ද සකස් කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

නව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මඟින් ණය දත්ත ගබඩා කළමනාකරණය ශක්තිමත් කළ යුතු අතර, ණය විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා ණය පිළිබද වාර්තා කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීමේ විධිමත් පද්ධතියක් නිර්මාණය කිරීමද එමගින් සිදු වනු ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන්.