අදත් නගර රැසක වායු ගුණාත්මකභාවය පහළට

පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් වායු ගුණ තත්ත්ව දර්ශකය අදත් (01) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පවසනවා.

ඊයේ (30) මෙන්ම අද (01) දිනයේත් මෙරට ප්‍රධාන නගර රැසකම වායු ගුණ තත්ත්වයේ අගය 101 ඉක්මවා ගොස් තිබුණා.

කොළඹ, යාපනය, වව්නියාව, මහනුවර, රත්නපුර, බදුල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, ගාල්ල, මීගමුව, පුත්තලම සහ කුරුණෑගල යන ප්‍රදේශ ඊට ඇතුළත්.

මීට අමතරව යාපනය, ගාල්ල සහ පොළොන්නරුව යන ප්‍රදේශවල වායු ගුණ තත්ත්වයේ අගය අද 108ත් – 116ත් අතර අගයක් ලෙස දැක්වුණා.