10 වන පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම අද උදෑසන 7 ට ආරම්භ කෙරුනා.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකි වනවා .

උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිනවා .

ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු ලියාපදිංචි වී තිබේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහ අට ලක්ෂ 81,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහහත් ලක්ෂ 65,351 දෙනෙකි.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 6081ක් ද වේ.