හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ දීයි .

පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබුණි.

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ද අද වරෙන්තුවක් නිකුත් කර තිබුණි. 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි එලෙස වරෙන්තුව නිකුත් කර තිබුනේ.