Port City පරිශ්‍රයේ Duty-Free ෂොපිං කරන්න පුළුවන් අය මෙන්න

කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත වුණා.

විදෙස් සංචාරයක නිරත වන යම් අයෙකු තීරු බදු රහිත මිල දී ගැනීම් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔහු හෝ ඇය ගුවන් තොටුපළක පිහිටි තීරු බදු රහිත සාප්පුවලින් අදාළ මිල දී ගැනීම් කළ යුතු වුවත්, එම පහසුකම මෙම සාප්පු සංකීර්ණය හරහා ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්.

ඒ අනුව Downtown Duty-Free සාප්පු සංකීර්ණයේ, සාප්පු සවාරියේ යෙදීම සඳහා සුදුසුකම් ලබන ප්‍රධාන පාර්ශව 4ක් පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා.

1. ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයින්
2. සංචාරකයින්
3. ශ්‍රී ලංකාවෙන් පිටත් වන ශ්‍රී ලාංකිකයින් සහ විදේශිකයින්
4. රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන

ඉහත කාණ්ඩවලට අයත් නොවන පුද්ගලයින් හට මෙම සාප්පු සංකීර්ණයට ප්‍රවේශ වීමේ අවස්ථාව නොලැබෙන බවද සඳහන්.

යම් අයෙකු ශ්‍රී ලංකාවේ සිට පිටරටකට යන්නේ නම් ඊට පෙර මෙම සාප්පු සංකීර්ණයට පැමිණ භාණ්ඩ මිල දී ගත හැකි අතර අදාළ භාණ්ඩ ගුවන් තොටුපළේදී ලබා ගත හැකියි.

එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන යම් අයෙක් වේ නම් ඔහු දිවයිනට පැමිණ දින 4ක් තුළ තමා සුදුසුකම් ලබන තීරු බදු රහිත මිල දී ගැනීමේ වියදම් සීමාව තුළ, මෙම සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීම් සිදුකළ හැකි බවයි වාර්තා වන්නේ.