දෙමෝදර ආරුක්කු නමයේ පාලම අසල නාය යාමේ අවදානමක්

ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම සංචාරක ස්ථානයක් ලෙස ජාත්‍යන්තරයේ ප්‍රචලිත ඇල්ල දෙමෝදර ආරුක්කු නමයේ පාලම අසල කඳුගැටයක නාය යාමේ අවදානමක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.

නායයෑමේ අවදානම පාලනය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වනවිට ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ

ඇල්ල දෙමෝදර ආරුක්කු නමයේ පාලම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් මනරම් ස්ථානයක්.

විශේෂත්වයකින් තොරව වසරේ සෑම කාලයකම පාහේ සංචාරකයින් මෙම පාලම නැරඹීමට එක්වන අතර එය ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම සංචාරක ස්ථානයක් ලෙස ද ජාත්‍යන්තරයේ ප්‍රචලිතයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර ඇති මෙම ආරුක්කු නවයේ පාලම මතින් දුම්රිය ගමනක අත්දැකීම විඳගැනීමට බොහෝ සංචාරකයින් අමතක කරන්නේ නැහැ.

කෙසේවෙතත් අද වනවිට එම පාලම ආසන්න කඳුගැටයක නාය යාමේ අවදානමක් පවතින බවට සොයාගෙන තිබෙනවා.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ අමෙරිකානු ඩොලර් මිලියන 101.3ක මූල්‍ය අනුග්‍රහයක් ඊට ලබාදීමට යෝජිතයි.

මෙම ව්‍යාපෘතිය මගින් නායයෑම් අවදානම සහිත කඳුගැටය ආවරණය කරමින් කොන්ක්‍රීට් වැස්මක් යොදා එහි හිඩැස් අතර ශාක වැවීම මගින් ස්වාභාවික පරිසරය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

සංචාරකයින් බහුලව පැමිණීම සහ දුම්රිය ගමන්වාර ද බහුලව ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු සඳහා වැඩි කාලයක් ගත වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.