2024 – 08 – 04

හිරු නැගීම – 06 : 03

හිරු මුදුන් වීම – 12 : 15

හිරු බැසීම – 18 : 27

අද අගෝස්තු මාසේ හතරවෙනිදා, ඉරිදා.

අද සති අන්තයේ අන්තිම දවස, හෙට ඉඳන් ආයෙමත් අලුතෙන් සතියක් පටන් ගන්නවා.

ඒ සතියට සූදානම් වෙන්න තියෙන්නේ අද දවස තමයි. ඉස්සරහට එන්න තියෙන ඒ සතියේ ඔයාට කරන්න තියෙන වැඩ මොනවද, ඒ වැඩ භාර දෙන්න දවසක් තියෙනවද, ඔයාගේ විවේක වෙලාව කොහොමද එන්නේ, ගෙදර අය එක්ක ගත කරන්න මොන වෙලාවද වෙන් කරලා තියා ගන්නේ කියලා හොඳට අද plan කරන්න.

අද අමාවක දවස. ඉතින් හෙට ඉඳන් අලුත් සතියක් වගේම අද ඉඳන් අලුත් චන්ද්‍ර මාසයකුත් පටන් ගන්නවා.

අද දවසේ විශේෂත්වය ගත්තොත් අද International Forgiveness Day එක. සමාව දීම දේව ගතියක් කියනවා නේ. සමාව දෙන එකෙන් අපිට තමයි ලොකුම වාසිය වෙන්නේ. කවුරු හරි අපිට මොනවා හරි කළාම ඒ දේ හිතේ තියා ගෙන කරදරෙන් තරහෙන් ඉන්නවට වඩා එයාට සමාව දීලා ඒ දේ අමතක කරලා ඉන්නකොට හිතටත් සැනසීමයි. ඒ වගේම අපේ ශරීර සෞඛ්යටත් ඒ දේ හොඳයි.

මිනිස්සු හැමෝම වැරදි කරනවා, ඒ තමයි මිනිස්සුන්ගේ ස්වාභාවය. එක වැරද්දක් නිසා එයා පට්ට නරක මනුස්සයෙක් කියලා නිගමනයකට එන එක වැරදියි. ඒ වගේම තමයි කෙනෙක් එක හොඳක් කළා කියලා එයා පට්ට හොඳ කෙනෙක් කියලා හිතා ගන්න එකත් වැරදි යි. ජිවිත කාලෙම අපි කවුරුහරි කෙනෙක් එක්ක හිටියත් අපිට ඒ කෙනාව හරියට අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු ගැන අවසාන නිගමනයකට එළඹෙන්න හදිස්සි වෙන්න හොඳ නැහැ.

සමාව දෙන එකේ ගොඩක් අය කතා කරන්නේ නැති දෙයක් තමයි තමන් තමන්ටම සමාව දීම, සමහර වෙලාවට අපි කරන සමහර දේවල් නිසා අපේ හිත අපිව වරදිකාරයෙක් කරලා හැමවෙලේම වගේ දඬුවම් දෙනවා. අපි අපිටත් සමාව දෙන්න ඉගෙන ගන්න ඕනේ. නොදැනුවත්කම, ආවේගය හෝ වෙන කිසියම් හේතුවක් නිසා එක වෙලාවක කරපු වැරද්දක් නිසා ඔයා ඔයාටම ජීවිත කාලෙම දඬුවම් කර ගන්න එපා.

සමාව දීමත් එක්ක ඔයා ඒ වැරැද්ද ආයෙමත් නොකරන්න වග බලා ගන්න.. ඒ වගේම තමන්ගෙන් සිද්ධ වුණු වැරැද්ද යම්තාක් දුරට හරි කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න.

ඒ වගේම අද සහෝදරියන්ගේ දවස… ඉතින් දෙවෙනි අම්මා කෙනෙක් තමයි අක්කා කෙනෙක් කියලා කියන්නේ. නංගිලාත් එහෙමයි.

අද දවස එහෙනම් සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!