ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද අමෙරිකාවේ හූස්ටන් නගරයේදී සිදු කෙරෙයි.
මෙම ඝාතනයට එරෙහිව ඇරඹි විරෝධතා රැල්ල මේ වන විට යුරෝපා රටවලටද පැතිර ගොස් අවසන්.
ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනීසිටි අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි 25 වැනිදායි.
එය මුල්කරගෙන කළු ජාතිකයන්ගේ මූලිකත්වයෙන් අමෙරිකාව පුරා දැවැන්ත විරෝධතාවක් ආරම්භ වූ අතර ඊට ප්රජාතන්ත්රවාදය අගයකරන බහුතර අමෙරිකානුවන්ගේ සහායද හිමි විය.
මෙවන් පසුබිමක ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර හිටපු පොලිස් නිලධාරී ඩෙරික් ෂාවින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙනී සිටි ෂාවින්ට එරෙහිව දෙවැනි මට්ටමේ පුද්ගල ඝාතනය ඇතුළු බරපතළ චෝදනා තුනක් ගොනුකර තිබේ.
අදාළ චෝදනා හමුවේ ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 1.25 ක ඇපයක්ද නියම වී තිබුණි.
කෙසේ නමුත් විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබුණේ නඩුව විභාග කෙරුණු මුළු කාලය පුරාම ෂාවින් නිහඩව සිටි බවයි.
මේ අතර මෙලෙස අමෙරිකානු පොලිසියේ කෘර හැසිරීමට මුහුණ දී තිබෙන පාර්ශ්ව කිහිපයක්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත්වීමට සූදානමින් සිටින අතර මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක්ද ඔවුන්ට එක්ව සිටියි.
මේ අතර මියගිය ෆ්ලොයිඩ්ගේ ඥාතීන් පෞද්ගලිකව හමුවීමට අමෙරිකානු ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රොටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩන් කටයුතු කර තිබුණි.
අදාළ හමුව සිදුව තිබුණේද හූස්ටන් නුවරදීයි.
මෙම හමුව තම පවුලට විශාල ගෞරවයක් වූ බව ෆ්ලොයිඩ්ගේ ඥාතීන් පවසයි.
මේ අතර හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ මිචෙල් ඔබාමා යුවළද අමෙරිකාවේ ක්‍රියාත්මක විරෝධතා සම්බන්ධයෙන් සිය අදහස් දැක්විය.
ෆ්ලොයිඩ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදුකිරීමට නියමිතයි.
අවමංගල්‍යය පෞද්ගලික උත්සවයක් ලෙසින් අමෙරිකාවේ වේලාවෙන් පෙරවරු 11 ට පැවැත්වෙන අතර, එම අවස්ථාවට පුද්ගලයින් 500 දෙනෙකුට පමණක් සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇති.
මේ අතර ෆ්ලොයිඩ් වෙනුවෙන් බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතා, අමෙරිකාව මෙන්ම රටවල් රැසක තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර මෙක්සිකෝවේ පැවැති බ්ලැක් ලයිව්ස් මැටර්ස් විරෝධතාව අතර 15 හැවිරිදි තරුණියක් පොලිසියේ අමානුෂික ප්‍රහාරයට ලක් විය.


