ත්‍රිරෝද රථ වෘත්තියටත් රීති අවශ්‍යයි – ජනපති

ත්‍රිරෝද රථ වෘත්තිය පවත්වාගෙන යාමේදී වෘත්තිය රීති තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

වෘත්තිය ත්‍රිරෝද  රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග ඊයේ (19) පැවති හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී වෘත්තිය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය දියුණුව පිළිබඳ යෝජනාවලියක් ද ජනපතිට භාරදී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අද රට යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. අප දැන් මෙතනින් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ක්‍රියාත්මක කරනේ නැත්නම් රටේ ආර්ථිකය යළි කඩා වැටෙන්නේ නැතිව ඉදිරියට ගෙන යා හැකි වෙනත් විකල්පයක් තිබෙනවද? අප සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළයුතුයි. විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය දියුණුව පිළිබඳ මෙහිදී යෝජනා රැසක් ඉදිරිපත් කළා. අපි එම යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතුයි. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම වෘත්තියට සම්බන්ධ සංගම් සමඟත් අපට සාකච්ඡා කිරීමට සිදු වෙනවා. මේ වෘත්තියට වෘත්තිය රීති අවශ්‍යයි. වෘත්තීය රීති තිබිය යුතු බව අප පිළිගන්නවා. ඒ වැඩ කටයුතු කරන ආකාරය ඔබ තීරණය කරන්න. සුබසාධනය ගැනත් අවධානය යොමු කළ  යුතුයි. අනාගතයේදී විශේෂයෙන්ම දේශගුණ විපර්යාස නිසා විදුලි වාහන කෙරෙහි අවධානය යොමු කරන විට මේ තිබෙන වාහනවලට ලබාදෙන සහනය කුමක්ද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ  යුතුයි. ඒ සියල්ලම තවම ලෝකයේ පවතින්නේ මූලික අදියරකයි. ලෝකයේ රටවල් මේ සම්බන්ධව අත්හදාබැලීම්වල නිරතව සිටිනවා. අප ලෝකය දෙස බලා ඒ අනුව කටයුතු කළ යුතුයි. “