සදුදා සිට සියලු දුම්රියන් යළි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කාර්යාල දුම්රිය, නගරාන්තර, දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සියල්ල ධාවනයට එක් කෙරෙන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) V.S පොල්වත්තගේ මහතා පැවසුවේ.
ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කරන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියත් මෙතෙක් නැවත ආරම්භ නොකෙරෙන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම තවත් දුම්රිය කිහිපයක් ආරම්භ කෙරෙනුයේ ලබන අගහරුවාදා සිට බවද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දුම්රිය කාලසටහනේ යම් වෙනස්කම් සිදුවිය හැකි බවද ඒ අනුව ඒ පිළිබඳ විමසිලිමත්ව සිටින්නැයිද දුම්රිය මගීන් වෙත දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
දුම්රියවල ආසන සංඛ්‍යාව අනුව මගීන් ප්‍රවාහනය කරන ලෙසත්, මගීන් සිටගෙන ගමන් නොකළ යුතු බවත් සෞඛ්‍ය අංශ හා ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.
එබැවින් අත්‍යාවශ්‍යම ගමන් බිමන් සඳහා පමණක් දුම්රිය භාවිතා කරන්නැයි දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සාමාන්‍යයෙන් දිනකට මගීන් 147,000 ක් පමණ දුම්රියේ ගමන් කරන අතර ආසන ප්‍රමාණයට ගමන් කරන්නේ නම් රැගෙන යා හැකි වනුයේ මගීන් 25,000 ත් 30,000 ත් අතර සංඛ්‍යාවක් පමණක් බව ද V.S පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළා.

