ලොව විශාලතම කොරල්පර පද්ධතිය ලෙස සැලකෙන ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය (Great Barrier Reef) දැඩි තර්ජනයකට ලක්ව ඇති බවට යුනෙස්කෝ සංවිධානය සඳහන් කරනවා.
මේ හේතුවෙන් මෙය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස සංවිධානය විසින් ඕස්ට්‍රේලියානු රජයට දැනුම් දී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ පරිසර හා ජල අමාත්‍ය Tanya Plibersek මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාව ජලයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට, මසුන් ආරක්ෂා කිරීමට, ආක්රමණික විශේෂ සමඟ කටයුතු කිරීමට මේ වන විට විශාල මුදලක් වැය කරමින් අදාළ පියවර ගනිමින් සිටින බවයි.
පොසිල ඉන්ධන දහනය අවම කිරීමට ද එරට රජය මේ වන විට විවිධ පියවර ගනිමින් සිටිනවා.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට සාපේක්ෂව සාගරයේ උෂ්ණත්වය ද දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඒ හේතුවෙන් මෙම කොරල් පර වල වර්ණය සුදු පැහැයට හැරෙමින්, කොරල් පර විනාශ වෙමින් පවතිනවා.
එසේම මෙම ඉහළ යෑමත් සමඟ Crown-of-thorns starfish නම් ආක්රමණික විශේෂ ද ඉහළ යමින් පවතින අතර ඔවුන් මෙම කොරල් පර ආහාරයට ගන්නා විශේෂයක් වනවා.

