ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැක්ටීරියාව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මාර්ගෝපදේශ හරහා මෙම ගැටලුව විසඳාගැනීමේ හැකියාව පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ස්ට්‍රෙප්ටොකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් (Streptococcal toxic shock syndrome) ලෙස හඳුන්වන මාරාන්තික දුර්ලභ ගණයේ බැක්ටීරියා ආසාදනයක් මේ දිනවල ජපානය පුරා වේගයෙන් පැතිර යන බව වාර්තා වනවා.
මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් මාංශ පේශි දියවීම සිදුවන බැවින් එය හඳුන්වන්නේ මාංශ පේශි කා දමන බැක්ටීරියාව ලෙසයි.
මෙහි රෝග ලක්ෂණ වන්නේ උගුර තුවාල වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය සහ අතපය වේදනාවයි.
මෙම බැක්ටිරීයාව ශරීරයට දරුණු ලෙස ආසාදනය වුවහොත් පැය 48ක් තුළ මරණයට පත්විය හැකි බවට ද ඇතැම් වාර්තා පෙන්වා දෙනවා.
පසුගිය වසර පුරා මෙම බැක්ටීරියාව ආසාදනය වූ 941 දෙනෙකු ජපානයෙන් වාර්තා වාර්තා වූ නමුත් මේ වසරේ ජනවාරි සිට ජුනි 02 වැනිදා දක්වා කාලය තුළ පමණක් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 977 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
මේ වසර අවසානය වන විට රට තුළ මෙම බැක්ටීරියාව ආසාදනය වූවන් සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවනු ඇතැයිද ජපාන සෞඛ්‍ය අංශ ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නිතර සබන් යොදා අත්සේදීම මෙන්ම ශරීරයේ ඇති බාහිර තුවාල සඳහා නිසි ප්‍රතිකාර ගැනීම සුදුසුබව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙම බැක්ටීරියා ආසාදනය ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින්ද මේ වනවිටවාර්තා වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර වාසය කරන 74 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකවන කාර්මෙල් රොද්‍රිගෝ ද මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබනඅතර ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා වම් අත කපා ඉවත් කිරීමටත් සිදුවතිබුණා.
කෙසේවෙතත් මෙරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙම බැක්ටීරියාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි.

