සම්බුදු තෙමඟුල සමරන උතුම් වූ වෙසක් පෝය අදයි

ලෝවැසි බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් පොහොය දිනයක් වන වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

සම්බුදුරජාණන් වහන්සේගේ උපත, බුදු වීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල අද වන් වූ වෙසක් පොහෝ දිනයක සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

වෙසක් පුන් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ද සැලකෙන අතර එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේද එය පිළිගෙන ඇත්තේ එහි වූ අපරිමිත වටිනාකම හේතුවෙනි.

මේ අතර සිදුහත් බෝධි සත්ත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ නියත විවරණ ලබා ගත්තේ ද අද වන් වූ දිනක බවයි සඳහන් වෙන්නේ.

බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කළ ආනන්ද මහා රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුව ඇත්තේ ද වෙසක් පොහෝ දිනයක වනවා.

අද දිනයේ බෞද්ධ ජනතාව දාන සීල ආදී ප්‍රතිපත්ති පූජා වල සහ වෙසක් තෝරන්, වෙසක් කූඩු ආදී ආමිස පූජාවල නිරත වනවා.

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!