2024 – 05 – 16

හිරු නැගීම – 05 : 52

හිරු මුදුන් වීම – 12 : 05

හිරු බැසීම – 18 : 19

අද මැයි මාසේ 16 වෙනිදා, බ්‍රහස්පතින්දා.

දැන් දැන් වෙසක් එකත් ලගටම වගේ ඇවිත් තියෙන නිසා වෙසක් කුඩූවක් එහෙම ඔන්න දැන් බඳින්න පටන් ගන්න කාලේ හරි නේද…! වෙසක් ඇත්තටම තියෙන්නේ ලබන සතියේ අද වගේ බ්‍රහස්පතින්දා දවසක.

එළියට ගියත් දැන් හැම තැනම හැමෝම වෙසක් සැරසිලි එහෙම කරමින් වෙසක් එකට සූදානම් වෙනවා. බෞද්ධ ආගමේ ලොකුම උත්සවය නේ වෙසක් කියන්නේ. ඉතින් අපි හැමෝම පුළුවන් උපරිමයෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජා වල යෙදෙමින් වෙසක් සමරමු.

ආමිස පූජා ගණයට තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන වෙසක් නිර්මාණ ඇතුලත් වෙන්නේ. එතකොට ප්‍රතිපත්ති පූජා විදිහට සලකන්නේ දාන, සීල, භාවනා කියන තුන. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ පූජාවන් දෙකම කරන්න ඕනේ කියලා.

ඒ නිසා මේ වෙසක් පෝයට සිල් ගන්න, දානයක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

හරි, දැන් අපි බලමු අද දවසේ තියෙන විශේෂත්වය.

අද ගත්තොත් අද drawing day එහෙමත් නැත්නම් චිත්‍ර ඇදීමේ දවස. පුංචි කාලේ ඉඳන් අපි ආස දෙයක් නේ පාට කූරක් හරි පන්සලක් හරි අරගෙන මොනවා හරි අඳින එක. සමහර අයට නම් ඇත්තටම හරිම ලස්සනට නිර්මාණශීලි විදිහට චිත්‍ර අදින්න පුළුවන්. එහෙම අයව අගය කරන ගමන්, ඔයාට පුළුවන් චිත්‍ර අදින එක ඉගෙන ගනිමින් ඒ හැකියාව දියුණු කර ගන්න.

චිත්‍ර අදිනවා කියන එක අපි සන්සුන් වෙන්න කරන දෙයක්. ඒ නිසා ඒ දේ ඔයාව තවත් අවුල් කරන දෙයක් බවට පත් කර ගන්න එපා. ඔයාගේ චිත්‍ර ලියනාඩෝ වගේ ලස්සන වෙන්න ඕනේ, ඔයා පන්සල් ඉරක් ගැහුවත් කලාත්මක වෙන්න ඕනි, එහෙම වෙන්නේ නැත්නම් ඔයාට චිත්‍ර අදින්න බැහැ කියලා හිතන්න එපා.

චිත්‍ර අදින්න ඕනේ පෑනක් හෝ පැන්සලක් විතරයි. අත් නැති අය, අලි වගේ සත්තුත් චිත්‍ර අදිනවා අපි දැකලා තියෙනවා. ඒ නිසා Take it easy!

මැයි 16 කියන්නේ ජාත්‍යන්තර පිරිමි ළමයින්ගේ දවස. පිරිමි ළමයින්ගේ සෞඛ්‍ය, මානසික සුවතාවය, ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ.

ගොඩක් අය කියනවා පිරිමි ළමයි වුණාම අඩන්න හොඳ නැහැ, එයාල දුර්වල නැහැ කියලා. මේක කියවන ඔයා කොල්ලෙක් නම්, මතක තියා ගන්න කොල්ලෝ අඬන එක කියන්නේ දුර්වලකමක් නෙමෙයි, ඒ වගේම ඔයාටත් හැඟීම් දැනෙනවා, ඒ දැනෙන දේවල් නිසා ඔයාටත් අඬන්න සම්පූර්ණ අයිතිය, නිදහස තියෙනවා. මොනවා හරි අවස්තාවක දී අඩන එකෙන් ඔයා දුර්වල කෙනෙක් වෙන්නේ නැහැ. ඒ වගේම කොලුකමේ අඩුවක් වෙන්නෙත් නැහැ.

මෙහෙම පිරිමි ළමයින් සඳහා දිනයක් වෙන් කිරීම ආරම්භ කරලා තියෙන්නේ 2018 අවුරුද්දේ.

ඉතින් boys, happy boys day!

එත් එක්කම මැයි 16 International Day of Light හෙවත් ආලෝකයේ දවසත් වෙනවා. UNESCO විසින් තමයි මේ වගේ දවසක් නම් කරලා තියෙන්නේ. මේ වෙනකොට ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්භක කිරණ (Electro magnetic wave) එකක් විදිහට හඳුනා ගෙන තත්ත්පරයට ආලෝකය ගමන් කරන වේගයත් මනින්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා.

1960 අවුරුද්දේ අද වගේ දවසක තමයි ඇමරිකානු භෞතික විද්‍යාඥයෙක් වුණු Theodore Maiman පලවෙනි laser කිරණය ආශ්‍රිත පරීක්ෂණ සිදු කරලා තියෙන්නේ.

අද ඉතින් වැදගත්කම් ගොඩක් තියෙන දවසක්. එහෙනම් අද දවස අනිවාර්යයෙන් ඔයාගේ ජිවිත වලටත් ලස්සන මතක එකතු කර ගන්න පුළුවන් දවසක් කර ගන්න.

ජය වේවා! තෙරුවන් සරණයි !